රජයේ ව්‍යවස්ථාදායක වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීම සහ සංශෝධනය කිරීම සහ අනු නීති කෙටුම්පත් කිරීම සහ ප්‍රතිශෝධනය කිරීම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වේ. අමාත්‍ය මණ්ඩලයේ තීරණවල අන්තර්ගත වන රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ආකාරයෙන් රජයේ ව්‍යවස්ථාදායක වැඩසටහන සකස් වී ඇත. එසේ හෙයින් එහි ක්‍රියාත්මක භාවය පහසු කිරීම සඳහා අවශ්‍ය දේශීය නීති රාමුව සැකසීම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ මූලික වගකීම වේ.

ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ කාර්යය සිදු කිරීමේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් සහ අමාත්‍ය මණ්ඩලයේ විධානයක් යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද ආයතන සංග්‍රහයේ ඇතුළත් එකී කාර්යය සඳහා සකස් කරන ලද පරිපාලන නියෝග මගින් දෙපාර්තමේන්තුව පාලනය වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව සතුව නීති සකස් කිරීමේ බලය පවතියි. 76 සිට 80 දක්වා වන ව්‍යවස්ථා මගින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට අදාළ කාර්ය පටිපාටිය දක්වයි. ආයතන සංග්‍රහයේ xxxiii වන පරිච්ඡේදයේ 2:1 සිට 2:3 දක්වා වගන්ති ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන අතර, "නීති කෙටුම්පතක් සකස් කොට එවන ලෙස ඉල්ලා සිටින සෑම අවස්ථාවක දී ම, කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට මඟ පෙන්වනු පිණිස ඒ පිළිබඳ හැකි තරම් සම්පූර්ණ උපදෙස් අඩංගු සංදේශයක් ද එවැනි ඉල්ලීමක් සමඟ යැවිය යුතු ය" යනුවෙන් දක්වා ඇත. රජයේ ව්‍යවස්ථාදායක වැඩසටහන පිළිබඳ කැබිනට් තීරණයට එළඹීමෙන් පසු එම නිගමනය පිළිබඳව එක් එක් ලේකම්වරයා වෙත සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත දැනුම් දෙනු ලැබිය යුතු ය. ආයතන සංග්‍රහයේ "උපකාරක නීති අමාත්‍යවරයා විසින් හෝ ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරනු ලබන අධිකාරිය විසින් පිළියෙළ කරනු ලැබිය යුතු අතර, ඉන්පසුව එය පිටපත් දෙකකින් යුක්තව, භාෂාත්‍රයෙන් ප්‍රතිශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යෙමු කරනු ලැබිය යුතු ය.” යනුවෙන් දක්වා ඇත.

නීති සහ උපකාරක නීති කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා දෙපාර්තමේන්තුව කැඳවනු ලබන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ අනුකූලව කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කළ යුතු ය.

Scroll To Top