පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු පිණිස ප්‍රධාන නීති සහ සංශෝධන නීති කෙටුම්පත් කිරීම සහ උපකාරක නීති ප්‍රතිශෝධනය කිරීම සඳහා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය

1. පනත් කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු අතර, එම ඉල්ලීම සමග මතු දැක්වෙන ලේඛන ඉදිරිපත් කළ යුතු ය:-

  • යෝජිත පනත් කෙටුම්පතට පාදක වන ප්‍රතිපත්තිය දක්වන එකී පනත් කෙටුම්පත පිළියෙළ කරනු පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය;
  • එම සංදේශයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය; සහ
  • පනත් කෙටුම්පත පිළියෙළ කිරීම පහසු කෙරෙන පසුබිම් තොරතුරු ඇතුළත් සෙසු අදාළ ලේඛන

2.ඉන් අනතුරුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් යෝජිත නීතිය පිළිබඳ මූලික පනත් කෙටුම්පතක් (ඉංග්‍රීසියෙන්) පිළියෙල කර නිරීක්ෂණ සඳහා එකී පනත් කෙටුම්පත (ඉල්ලීම කරනු ලබන) අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

3. මූලික පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද ප්‍රතිපත්තියට අනුකූල වන බවට ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය විසින් අවසන් වශයෙන් සනාථ කරනු ලැබූ පසු නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත නීතිපතිවරයාට ද පිටපතක් සහිතව ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය වෙත යැවීමට කටයුතු කරනු ලැබේ.

4. අනතුරුව, නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබේ. සිය මතය අනුව පනත් කෙටුම්පතෙහි විධිවිධානවලින් -

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය වීමක් සිදු නොවන විට දී නීතිපතිවරයා විසින් ඒ බවට සහතිකයක් නීති කෙටුම්පත් සම්පාදකට ද පිටපතක් සහිතව ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය වෙත නිකුත් කරනු ලැබේ; නැතහොත්
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් විධිවිධානයක් උල්ලංඝනය වීමක් සිදුවන විට දී, නීතිපතිවරයා විසින් ඒ බවට සිය නිරීක්ෂණ නීති කෙටුම්පත් සම්පාදකට ද පිටපතක් සහිතව අදාළ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලැබේ. පනත් කෙටුම්පතට එම සංශෝධන කරනු ලැබූ විට නීතිපතිවරයා විසින් එකී පනත් කෙටුම්පතෙහි විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය නොවන බවට සහතිකයක් නිකුත් කරනු ලැබේ.

5. නීතිපතිවරයා වෙතින් එකී සහතිකය ලද විට, නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතෙහි සිංහල හා දමිළ පිටපත් ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලැබේ. නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන විට නීතිය බලපෑමේ ප්‍රකාශයක් ද මේ අවස්ථාවේ දී භාෂාත්‍රයෙන් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

6. ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය විසින් අනතුරුව පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් ම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් එය ගැසට් පත්‍රයෙහි II වන කොටසෙහි පළ කිරීමටත්, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අනුමැතිය ඉල්ලා සිටිනු ලැබේ.  මෙම අවස්ථාවේ දී කෙටුම්පත් කළ නීතියට තවදුරටත් සංශෝධන අවශ්‍ය යයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළහොත්, අමාත්‍යාංශය විසින් භාෂාත්‍රයෙන් වූ පනත් කෙටුම්පතේ පිටපත් ද, නීතිය බලපෑමේ ප්‍රකාශයක් ඇතොත්, එය ද සමග, අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය, අදාළ සංශෝධන සිදු කරනු පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කළ යුතු ය.

7. 6 වන ඡේදයේ සඳහන් තත්ත්වය පැන නැගුණහොත්, එවිට 3, 4 සහ 5 වන ඡේදවල දක්වා ඇති කාර්ය පටිපාටිය යළි අනුගමනය කරනු ලැබිය යුතු ය.

8. අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයෙහි පළ කිරීම අනුමත කරනු ලැබු විට, අමාත්‍යාංශය විසින් පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් ම රජයේ මුද්‍රණාලයාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය. පනත් කෙටුම්පත පළමුවෙන්ම රජයේ ගැසට් පත්‍රයෙහි අතිරේකයක් ලෙසින් පළ කරනු ලබන අතර, භාෂාත්‍රයෙන් මුද්‍රණය කරනු ලැබූ කෙටුම්පත අවසන් සෝදුපත් කියවීම සහ අනුමැතිය සඳහා මුද්‍රණාලයාධිපති විසින් නීති කෙටුම්පත් සම්පාදක වෙත යවනු ලැබේ.

9. පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර එය පළ කරනු ලැබූ දිනයෙන් දින 14 ක් ඉකුත් වීමෙන් පසුව, එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු ය. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් (පළමුවර කියවීමෙන්) පසුව පාර්ලිමේන්තුව විසින් එය පනත් කෙටුම්පතක ස්වරූපයෙන් මුද්‍රණය කරන මෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නියම කරමින් එයට අංකයක් ලබාදෙනු ඇත. මෙහි දී පිටකවරයේ පෙනුමෙහි පමණක් වෙනසක් සිදුවන අතර, පනත් කෙටුම්පතට හරයාත්මක ව කිසිදු වෙනසක් සිදු කරනු නොලැබේ.

10. පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබූ විට එය දෙවැනි වර කියවීමේ විවාදය සඳහා දිනයක් (පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූ දින සිට දින හතකට කලින් නොවන දිනයක්) නියම කරනු ලැබේ. එම කාලසීමාව ලබා දී ඇත්තේ යම් පුරවැසියකුට එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සඳහා ය. විවාදයට භාජනය කෙරෙන කරුණු සම්බන්ධයෙන් පැන නගින යම් වෙනස් කිරීම් කාරක සභා අවස්ථා සංශෝධන මාර්ගයෙන් සිදු කරනු ලැබිය හැක්කේ දෙවැනි වර කියැවීමෙන් පසුව පැවැත්වෙන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ දී ය. අමාත්‍ය මණ්ඩලය විසින් මුල් අවස්ථාවේ දී අනුමත කරනු ලැබූ ප්‍රතිපත්තියට බැහැරව අලුතින් කිසිදු කරුණක් කාරක සභා අවස්ථා සංශෝධන මාර්ගයෙන් ඇතුළත් කරනු නොලැබිය යුතු ය.

  • පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් විවාදය සඳහා ගනු ලබන්නට පෙරාතුව කවර විටක දී වුව ද පනත් කෙටුම්පතට සංශෝධන යෝජනා කරනු ලබන්නේ නම්, ඒ අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලබන කාරක සභා අවස්ථා සංශෝධන ස්වරූපයෙන් කෙටුම්පත් කරන මෙන් ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය විසින් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් ඉල්ලා සිටිනු ලැබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් එම සංශෝධන භාෂාත්‍රයෙන් ම පිළියෙල කරනු ලැබූ පසු ඒවායේ පිටපත්, පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා නියම කරනු ලැබූ දිනයට යටත් පිරිසෙයින් එක් දිනකටවත් පෙරාතුව නීතිපතිවරයා වෙත හා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත යවනු ලැබේ.
  • සම්පාදනය කරනු ලබන නීතිය පිළිබඳ ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් මේ වනවිටත් අනුමත කරනු ලැබ ඇති බැවින්, සහ අධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කළ නොහැකි බැවින් කාරක සභා අවස්ථා සංශෝධන මාර්ගයෙන්, නීතිය පිළිබඳ ප්‍රතිපත්තියේ හෝ එහි විධිවිධානවල සැලකිය යුතු වෙනසක් කාරක සභා අවස්ථාවේ දී සිදු නොකළ යුතු ය. මෙහි ලා එකම ව්‍යතිරේකය වනුයේ සිදු කිරීමට අපේක්ෂා කරනුයේ අත්‍යාවශ්‍ය පියවරක් ඇතුළත් කිරීම වීමත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබීමත් පමණි.
  • පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අතරවාරයේ කිසියම් අවස්ථාවක දී පනත් කෙටුම්පතට ඇතැම් සංශෝධන සිදුකිරීම සඳහා අදාළ අමාත්‍යාංශය එකඟ වුවහොත් ඔවුන් විසින් විවාදය පැවැත්වෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තුවට පැමිණ සිටින නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධරයාට ඒ බැව් දැනුම් දිය යුතු ය. එකී නිලධරයා විසින් පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවට පෙරාතුව එම සංශෝධන පිළියෙල කොට අදාළ අමාත්‍යාංශයේ නිලධරයන්ට සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ලබා දෙයි. පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ දී එකී කාරක සභා අවස්ථා සංශෝධන යෝජනා කිරීමට හැකිවනු පිණිස ඒවා අදාළ අමාත්‍යවරයා වෙත භාරදිය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල විය හැකි කිසියම් කරුණක් ඇතුළත් සංශෝධනයක් හඳුන්වා දීමට මේ අවස්ථාවේ දී උත්සාහ නොදැරිය යුතු ය. මෙම කරුණ පිළිබඳව අවශ්‍ය උපදෙස් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයන් විසින් ලබාදෙති.
  • පනත් කෙටුම්පතක කාරක සභා අවස්ථාවේ දී යෝජනා කරනු ලබන සංශෝධන වෙතොත්, පාර්ලිමේන්තුවට පැමිණ සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයා විසින් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සහතිකයක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත නිකුත් කරනු ලැබේ.

නියෝග, රීති, නියම, අතුරු නීති සහ නෛතික බලපෑම ඇති වෙනත් නිවේදන හෝ ප්‍රකාශන

  • රේඛීය අමාත්‍යාංශය විසින් උපකාරක නීති කෙටුම්පත් කොට ප්‍රතිශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යැවිය යුතු ය. එය භාෂාත්‍රයෙන් සකස් කොට පිටපත් දෙකකින් යැවිය යුතු ය. (ආයතන සංග්‍රහය XXXIII වන පරිච්ඡේදය).
  • උපකාරක නීති කෙටුම්පත් ප්‍රතිශෝධනය කොට නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ අමාත්‍යාංශය වෙත ආපසු එවනු ලැබේ. ඊට උපලේඛන ඇතුළත් වෙතොත්, අදාළ විෂයයට සුවිශේෂී වන තාක්ෂණික හෝ සෙසු තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ වගකීම අදාළ අමාත්‍යාංශය සතුව පවතී.
  • නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ උපකාරක නීති කෙටුම්පත් පදනම් කොටගෙන ප්‍රතිශෝධනය කිරීමට ප්‍රමාණවත් ආකාරයෙන් කිසිසේත් නොපවතින අවස්ථාවල දී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් අදාළ උපකාරක නීති අලුතින්ම කෙටුම්පත් කර, පරිවර්තනය කොට ඉල්ලීම කරනු ලබන අමාත්‍යාංශය වෙත භාෂාත්‍රයෙන් ම යවනු ලැබේ. උපකාරක නීති සෑදීමට බලය පැවරුණු පුද්ගලයා විසින් අත්සන් කරනු ලැබීමෙන් අනතුරුව එම උපකාරක නීති ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය.  එසේ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ පසු හෝ එහි නිශ්චිතව සඳහන් යම් දිනයක සිට උපකාරක නීති බලපැවැත්වෙනු ඇත. එසේ වුව ද, ඉන් අනතුරුව හැකි ඉක්මනින්ම ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු ය. ගැසට් පත්‍රයෙහි පළ කරන ලද උපකාරක නීතිවලට පාර්ලිමේන්තුවේ අනුමතය නොලැබුණහොත්, ඒ යටතේ කලින් කරනු ලැබූ කිසිවකට අගතියක් නොවන පරිදි එදින සිට ක්‍රියාත්මක වන පරිදි ඒවා පරිච්ජින්න කරනු ලැබූ සේ සලකනු ලැබේ.
Scroll To Top