ඩොනමෝර් කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන්, 1927 දී නීති කෙටුම්පත් සම්පාදක තනතුර නිර්මාණය කරන ලද අතර 1927 සැප්තැම්බර් මාසයේ නීති කෙටුම්පත් සම්පාදක ධූරයෙන් කටයුතු ආරම්භ කරන ලද ආතර් ඩයර් - බෝල් මහතා අලුතින් ම නිර්මාණය කරන ලද නීති කෙටුම්පත් සම්පාදක තනතුරට පත් කරන ලද ප්‍රථම තැනැත්තා විය.

නව පනත් කෙටුම්පත් සකස් කිරීම සහ නීති සංශෝධනය, ඒ පනත් කෙටුම්පත් සඳහා අරමුණු සහ හේතු ප්‍රකාශයන් සෑදීම, සියලු ප්‍රකාශන නිවේදන, රාජ සභා ආඥා අනු නීති, රීති සහ නියෝග සෑදීම, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ පනත් කෙටුම්පත් සම්බන්ධ සාකච්ඡා කරනු ලබන අවස්ථාවේ දී ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම්වලට සහ තේරීම් කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම නීති කෙටුම්පත් සම්පාදකගේ කර්තව්‍ය ලෙස විස්තර කර ඇත.

1931 ජූලි මස නීති ලේකම් යටතේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ලෙස වෙනම ම දෙපාර්තමේන්තුවක් නිර්මාණය කරන ලදී. 1931 ප්‍රථම නීති කෙටුම්පත් සම්පාදක, ඩයර් - බෝල් මහතාගේ අභාවයෙන් පසු 1933 දෙසැම්බර් මාසය දක්වා මේ ධුරයට ස්ථිර පත් කිරීමක් සිදු නොකරන ලදී. මේ කාලසීමාව තුළ සහකාර නීති කෙටුම්පත් සම්පාදක සී.සී.ඒ. බ්‍රිටෝ මුතුනායගම මහතා නීති කෙටුම්පත් සම්පාදක ධූරයේ වැඩ බැලීමට පත් කරන ලදී. එම කාර්යය සඳහා ඔහුට නීතිපතිවරයාගේ නිල කාර්ය මණ්ඩලයෙන් ද්විතීයික පදනම මත පත් කරන ලද එච්.එච්. බස්නායක මහතා සහාය ලබාදෙන ලදී. 1933 දෙසැම්බර් මස 1 වන දින දී මර්වින් ෆොන්සේකා මහතා නීති කෙටුම්පත් සම්පාදක ධුරයට පත්කරන ලදී. පිළිවෙළින් පළමු සහකාර නීති කෙටුම්පත් සම්පාදක සහ දෙවන සහකාර නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් පී.සී. විල්ලවරායන් සහ එච්.එල්. වෙන්ඞ් යන මහත්වරු නීති කෙටුම්පත් සම්පාදකට සහාය දක්වන ලදී. 1943 දී සොලිසිටර් ජනරාල්වරයා ලෙස මර්වින් ෆොන්සේකා මහතාගේ පත්කිරීමත් සමඟ පී.සී. විල්ලවරායන් මහතා නීති කෙටුම්පත් සම්පාදක ලෙස පත් කරන ලද අතර 1949 විශ්‍රාම ගන්නා තුරු ඔහු එම ධුරයේ කටයුතු කරන ලදී.

නීති කෙටුම්පත් සම්පාදකවරයා ලෙස ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා වන අතර 1955 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස ඒ මහතා පත්කරනු ලබන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කළේය. ප්‍රනාන්දු මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස රාජ නීතීඥ ඒ.ඩබ්ලිව්.එච්. අබේසුන්දර මහතා, 1962 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්වන තෙක් නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් කටයුතු කළේය. අබේසුන්දර මහතාට පසු නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් පර්සි ද සිල්වා මහතා සේවය කළේය. දශකයකට වඩා කාලසීමාවක් ධුරයේ රැඳෙමින් කටයුතු කළ පර්සි ද සිල්වා මහතා ධූරය දරමින් සිටිය දී 1972 වසරේ මරණයට පත් විය. පර්සි ද සිල්වා මහතාට පසු නීති කෙටුම්පත් සම්පාදක වශයෙන්  ඕ.එම්. ද අල්විස් මහතා කටයුතු කළ අතර 1978 දී ඔහුගෙන් පසු නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් පී.එන්.කේ. රුද්‍රිගු මහතා පත්වන තෙක් අල්විස් මහතා එම ධුරයේ කටයුතු කළේය. 1984 තෙක් නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් රුද්‍රිගු මහතා සේවය කළේය. ඔහු ද ධුරයේ සිටිය දී මරණයට පත්විය. 1984 දී නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් එන්.ජේ. අබේසේකර මහතා පත් වූ අතර 2000 වසරේ දෙසැම්බර් මස ඔහු විශ්‍රාම ගන්නා තෙක් අවුරුදු 16 ක කාලයක් එම ධුරය හෙබවීය. ඔහුගෙන් පසු මාසයක තරම් වූ කෙටි කාලයක් සඳහා මල්වත්තගේ එඞ්මන්ඞ් වෝල්ටර් පීරිස් මහතා නීති කෙටුම්පත් සම්පාදක ධුරය දැරුවේ ය. 2001 වසරේ ජනවාරි මාසයේ ඔහු විශ්‍රාම ගැනීමත් සමග ටී.ආර්. පෙරේරා මහත්මිය නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් අනුප්‍රාප්ත වූ අතර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අවුරුදු 86 ක ඉතිහාසය තුළ එම තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව ද එතුමිය වේ. 2012 වසරේ අප්‍රේල් මස 12 වන දින ටී.ආර්. පෙරේරා මහත්මිය විශ්‍රාම ගත් අතර 2012 දෙසැම්බර් 19 තෙක් ධුරය දැරූ පී.අයි.එස්. සමරසිංහ මහත්මිය, පෙරේරා මහත්මියගෙන් පසු නීති කෙටුම්පත් සම්පාදක ධූරයට පත් විය. එතුමියගෙන් පසු නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් ජී.එස්.ඒ. ද සිල්වා මහතා පත් වූ අතර, 2015 වසරේ සැප්තැම්බර් මස 14 වන දින එතුමා විශ්‍රාම යාමත් සමග නීති කෙටුම්පත් සම්පාදක වශයෙන් වත්මන් නීති කෙටුම්පත් සම්පාදක ඞී.එස්.එච්. කුමාරජීව මහත්මිය පත් විය.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ මුලසුන හෙබවූ නිලධාරින්

නම සිට දක්වා
ආතර් ඩයර් - බෝල් 1927 අගොස්තු 06 1930 දෙසැම්බර් 18
රාජ්‍ය නීතීඥ ජේම්ස් මර්වින් ෆොන්සේකා 1933 දෙසැම්බර් 21 1942 ජූලි 07
පොන්නම්පලම කුමාරස්වාමි විල්ලවරායන් 1942 ජූලි 07 1949 ජනවාරි 07
හග් නෝමන් ගේරියස් ප්‍රනාන්දු 1949 ජනවාරි 07 1955 මැයි 16
රාජ්‍ය නීතීඥ අශෝක වින්ද්‍ර හේමන්ත අබේසුන්දර 1955 සැප්තැම්බර් 06 1962 අප්‍රේල් 20
පර්සි ද සිල්වා 1962 අප්‍රේල් 02 1972 දෙසැම්බර් 23
ඔස්වල්ඞ් මර්වියන් ද අල්විස් 1972 දෙසැම්බර් 23 1978 මාර්තු 03
පුන්‍යජිත් නන්දකුමාර රොද්‍රිගු 1978 මාර්තු 03 1984 අප්‍රේල් 12
ජනාධිපති නීතිඥ නලීන් ජයන්ත අබේසේකර 1984 දෙසැම්බර් 05 2000 දෙසැම්බර් 16
මල්වත්තගේ එඞ්මන්ඞ් වෝල්ටර් පීරිස් 2000 දෙසැම්බර් 17 2001 ජනවාරි 17
ජනාධිපති නීතිඥ තීරිස් රාජ්කුමාරි පෙරේරා 2001 ජනවාරි 18 2012 අප්‍රේල් 12
ජනාධිපති නීතිඥ පද්මිනි ඉන්දිරා සෙනරත්න සමරසිංහ 2012 අප්‍රේල් 13 2012 දෙසැම්බර් 19
ගොඩවත්තගේ සරත් අරුණ ශාන්ත ද සිල්වා 2012 දෙසැම්බර් 20 2015 සැප්තැම්බර් 14
ජනාධිපති නීතිඥ දීපානි සන්ධ්‍යා හේවා කුමාරජීව 2015 සැප්තැම්බර් 15 2021 ජූලි 02
ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි සමරවීර 2021 ජූලි 03  
Scroll To Top