රජයේ නීති සම්පාදන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම පහසු කිරීම පිණිස ප්‍රධාන නීති සහ සංශෝධන නීති කෙටුම්පත් කිරීම සහ උපකාරක නීති කෙටුම්පත් කිරීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට බලය දී තිබේ. කෙටුම්පත් කළ නීති සහ උපකාරක නීති සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව කෙටුම්පත් කරන ලද නීති සාර්ථකව පනවනු ලැබීම සඳහා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධව කටයුතු කිරීමටත් මෙම දෙපාර්තමේන්තුව කැඳවනු ලැබේ.

කාර්යක්ෂමතාවය හා නිවැරදිභාවය තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුකූලව ජාතික භාෂා දෙකෙන් හා සම්බන්ධීකරණ භාෂාව වන ඉංග්‍රීසි භාෂාවෙන් ද නීති පැනවීමේ අවශ්‍යතාව මත දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදනයේ නියුක්ත නිලධරයන් සාමාන්‍යයෙන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු බැගින් වන කණ්ඩායම් වශයෙන් කටයුතු කරති.

පවරන ලද කාර්යය සඳහා වගකීම භාරගනු ලබන නීති කෙටුම්පත් සම්පාදනයේ නියැලෙන ජ්‍යෙෂ්ඨ නිලධරයකු වෙත නීති කෙටුම්පත් සම්පාදනය සම්බන්ධ උපදෙස් යොමු කරනු ලබන අතර එකී කාර්යය පවරනු ලැබූ කනිෂ්ඨ නිලධරයකුගේ සහයෝගය සහිතව එම කාර්යයේ නියුක්ත වේ. ආරම්භයේ දී, ප්‍රතිපත්ති තීරණවලට අනුකූලව ගැඹුරින් සාකච්ඡා කොට සංශෝධනය කරන ලද මූලික කෙටුම්පතක් සකස් කරනු ලබන අතර ඉන්පසු අදාළ අමාත්‍යාංශයට අවසන් කෙටුම්පත යොමු කරනු ලැබේ. ඒ සමඟම කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය සහතික කිරීම සඳහා නීතිපතිවරයා වෙත එම කෙටුම්පත යවනු ලැබේ. ඉන්පසු කෙටුම්පත පනත් කෙටුම්පතක් වශයෙන් ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කරනු ලැබේ.

Scroll To Top